‎ප්‍රතික්ෂේප වීම

Authors
  • avatar
    Name
    M. S. Yashinika
    HS/2017/1312
    Subject
    මනෝවිද්‍යාව විශේෂවේදී
    Year
    තෙවන වසර

ආදර පිපාසයෙන්
පෙලුණු අවධියක මා
ඔබ ආවා මගේ ජීවිතයට
සුළඟක් වැනි වේගයෙන්

නොසිතූ නිමේෂයකින්
සුළග මා වට දැවටෙද්දී
ඒ සුළගට පෙම් බදින
කිරිල්ලියක් වීමි මා

නිදහසේ පියාපත් සලන්නට
සුළඟ මා හට දෑත දෙද්දී
ඒ දෑතට ලොල් බඳින
කිරිල්ලියක් වීමි මා

ආදර පිපාසයෙන් පෙළුණු මාහට
ඔබගේ සෙනෙහස එකදු දිය උල්පතක් මෙන් විය

හැමූ සුළං නල
කුණාටුවක් මෙන්
මා අභියස සිට ගනිද්දී
මගේ සිත බුර බුරා ආයාචනා කරමි මා හට
කෙමෙන් කෙමෙන් දිය උල්පත සිදී යන්නට ඇරඹුණා වග

කෙසේ විද ගන්නද මා
සුළඟ ඔබේ ඒ වෙනස
වැඩි කලක් නොගොස්
දිය උල්පත සිදී ගිය විගස
නැවත මා හට පිපාසයේ වේදනාව දැනෙන්නටම විය

නමුත් මා,
ආදරයෙන් මත් වූ දාසියක මෙන්
නැවත ඔබගෙන් ආදරය නොඉල්ලමි

බිඳ වැටුණු ජීවිතයට
නව මානයක් එක් කර ගත් මා
නැවත දිය උල්පතක් තනන්නට සමත් වීමි

කලකදී සිදී ගිය උලපත
වෙනෙකුගේ ආදරයෙන් පුරවා ගන්නට
තීරණය නොකල මා
මා තුලින්ම මා සොයා ගතිමි
මා මටම පෙම් බදින්නට ඇරඹුණෙමි

එබැවින්,
මගේ ජීවිතය වර්ණවත් වන බව මටම දැනෙන්නට විය

ප්‍රතික්ෂේප වීම,
කියා දුන්නා ඔබ මට
ඔබ ඔබටම ආදරය කල යුතු බව

මම දැන් මගේ ජීවිතයට පෙම් බදින නිදහස් කිරිල්ලියකි.