‎තාක්ෂණික පරිණාමය හරහා සිදු වන්නා වූ මානව විපරිණාමය

Authors
  • avatar
    Name
    M. P. M. S. අබේසිංහ
    HS/2016/0875
    Subject
    මනෝවිද්‍යාව විශේෂවේදී
    Year
    හතරවන වසර

සැබැවින්ම මෙය නිතර දෙවේලේ අප සවනත වැකෙන කියමනකි. බොහෝ තාක්ෂණිකික උපාංග නිර්මාණයය වන්නේ මිනිසාගේ කටයුතු පහසුකර ගැනීමට වුවද ඒවා නිසා අහිතකර බලපෑම් ද ඇතිවන බව නොරහසකි. කෙසේ වුවද තාක්ෂණය අත හැර පසුගාමී මාවතක යාමට ද අප හට නොපුළුවන. මන්ද ඒ හරහා ලැබෙන ප්‍රයෝජනකාරීභාවය වචන කළ නොහැකි තරම්ය. මේ හේතු කොටගෙන තාක්ෂණය හරහා ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සවිඥ්ඥානික වී සිටීම ඉතා වැදගත් වේ. මන්ද තාක්ෂණය හරහා අප අන්ධයින් බවට පත් කොට නවීන තාක්ෂණික උපාංග හා සේවාවන් පසුපස ගොස් “බොරු වළක“ වට්ටවාලීමටද සම්භාවිතාවක් ඇති කරනු ලබන බැවිනි.

මෙහිදී සමාජ මාධ්‍ය ජාල (Social Media) පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. සමාජ ජාලා යනු විවිධ මතවාද මෙන්ම විවිධ දෘෂ්ටිකෝණයන් එකිනෙකට යා කළ හැකි පාලමක් යන්න පැවසුවහොත් එය නිවැරදි වේ. කෙසේ වුවද සමාජ මාධ්‍ය ජාලයේ අතොරක් නොමැතිව සැරිසැරීම යොවුන් වියේ පසු වන්නන්ගේ නින්ද කෙරෙහි සහ ශරීර සෞඛ්‍ය සඳහා එල්ල කරනු ලබන බලපෑමකි. මේ අනුව යොවුන් දරු දැරියන් රාත්‍රි දහයෙන් පසු ජංගම දුරකථන භාවිතයේ යෙදීම නතර කිරීම සඳහා දෙමව්පියන් පියවර ගත යුතු අතර ජංගම දුරකථන භාවිතා කරමින් ඔවුන් සිදු කරනුයේ මොනවාද යන්න පිළිබඳවත් නිරන්තර සැලකිල්ලක් දැක්වීමට කාලය පැමිණ ඇත.එමෙන්ම දවසේ පැය 24න් පැය 18 ක් පමණම සමාජ මාධ්‍ය ජාලයට පිවිසෙන ගැහැණු/පිරිමි දෙපාර්ශවයේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී යන අතර පසුකාලීනව ඔවුන් බරපතළ මානසික රෝගීන් බවටද පත්වන බව නොඅනුමානය. මෙනිසාම දෙමව්පිය, වැඩිහිටි අවධානය දරුවන් කෙරෙහි සුවිශේෂී ලෙස යොමු කළ යුතුය.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී නවීන තාක්ෂණය හරහා පුද්ගලයින්ගේ නිර්මාණශීලීත්වය බොහෝ සෙයින් ‘මොට වීමක්‘ සිදුවේ. එයට හේතුව වන්නේ අන්තර්ජාලය හරහා ලබාගත හැකි දැවැන්ත තොරතුරු සම්භාරය හරහා පුද්ගලයින්ගේ සිතීමේ හැකියාව බොහෝ සෙයින් මොට වීමක් සිදු වීමයි. ඒ අනුව අද සමාජයේ බොහෝ පුද්ගලයින් පුරුදු වී සිටින්නේ ඕනෑම කටයුත්තක් සඳහා තොරතුරු ලබා ගැනීමට අන්තර්ජාලය භාවිතා කිරීමටයි. ඔවුන් එක දශමයකුදු තම මොළයෙන් යමක් සිතා විසඳුම් ලබා ගැනීමට වෙහෙස නොවේ.

එමෙන්ම තාක්ෂණය හරහා අහිමි වන නින්ද සම්බන්ධයෙන්ද මෙහිදී සුවිශේෂී ලෙස අවධානය යොමු කළ යුතුමය. අද සමාජයේ බොහෝ පිරිසක් ස්මාර්ට් ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්ලට් යනාදී නවීන තාක්ෂණික උපකරණවලට ඇබ්බැහි වීම හරහා නිදි වැරීමේ බහුලතාවයක් දක්නට ලැබේ. සමහර පුද්ගලයින් නින්දක් නොලබන තරමටම මේ දේවල් සඳහා යොමු වී ඇත. සැබවින්ම මෙය ශරීර සෞඛ්‍ය මෙන්ම පුද්ගල මානසික සෞඛ්‍යයටද ඉතාමත් අහිතකර තත්ත්වයකි.

නිර්දිෂ්ට කාරණයන්ට අමතරව සන්නිවේදන හැකියාව අහිමි වීම, මතක ශක්තිය ගිලිහී යාම, අන්තර් පුද්ගල සබඳතා බිඳ වැටීම, පවුල් ආරවුල් ඇතිවීම යනාදී ගැටළු සහගත තත්ත්වයන් ඇතුළු සිය දිවි නසා ගැනීම දක්වා නූතන තාක්ෂණය හරහා එල්ල වන බලපෑම ප්‍රබල වී ඇත. මේ නිසාම මෙම විග්‍රහයෙහි අවසානය සනිටුහන් කරනු ලබන්නේ එක් සුවිශේෂී ඉල්ලීමක් සමඟිනි. එනම් නුතන තාක්ශණය යනු මෙවලමකට වඩා තමාගේම බුද්ධියේ කොටසක් ලෙස සලකා භාවිත කරන ලෙස ආයාචනාත්මක ඉල්ලීමක් මුළු මහත් සමාජයෙන්ම ඉල්ලුම් කරමිනි.