ආලය අන්ධය.....

Authors
  • avatar
    Name
    F. A. A. AZEEZ
    HS_2017_0068
    Subject
    මනෝවිද්‍යා විශේෂවේදී
    Year
    දෙවන වසර

විකසිත පියුමකි - මව්පියනට ඇය
රැක්කෝ ය බඹරුන්ගෙන්
දෙනෙත සේ - අනාගත දසුනට
පීඩක - බාධා - කරදරහි - රස්නය නොදී ඈ හට
වින්ඳා වූ දුක අපමණ - සීමා කොට
පමණම එය තම හදවතට

වැඩුවේ තම චූටි දූ මැණික
සිහින පොදියක් බැඳගෙන
අකුරු කරවා
දිනෙක ලොව දිනුම දක්නට....
නමුදු ,
අමතකය - ඇයට
සුදු වතින් සැරසුණ තම - දැරියක බවට
බින්ඳා ය - මාපිය අහස් මාළිගා තම බොළඳකමට

පාට කළ හිස කේ - නන්වන් වස්ත්‍රට, අබරණට
බැඳුණා ආලෙන් - මිථ්‍යාව තම ඉදිරිපිට
නොවැටහිණි ඈට
මිරිඟුව ද සිරි බව දුර සිට බලන කලට.

කීවා බොරු - රැකවල් කළ මාපියනට
නොදැන - කැපූ වලට තමා ම ගොදුරක් වන බවට
සිනමාවේ හුදු පෙම් දසුනක ලෙස සිතා එ රසයට
මායාවේ කෙමෙන් ගිලුණා ඇගේ ම මුරණ්ඩුකමට...

දත් විගස තරවටු කළ - පියා විය නරුමයා බවට,
හොඳ නරක කියූ - මව විය කරුමයක් බවට,
සමවයස් උපදේශ - වීය රස බොජුන් බවට,
වූවාය අන්ධ - පෙනි පෙනී දසුන ඈ ඉදිරිපිට.

වදන්හි මිහිරි බව ඔහුගේ -
මැව්වා නව ලොවක් ඈ හදෙහි තරයේ ,
දුන්නා වූ පොරොන්දු ඈ හමුවේ -
දේව අනාවැකිය දිවියේ ,
සැලකිල්ලකි පහළොස් වසරේ -
බිඳිණි මොහොතින් ඔහු උත්තරීතරය යන සිත හමුවේ.

රෑ බෝ විය - නැත සඳ දක්නට,
දසමසක් දැරූ කුස - විය ගින්නෙන් දැවෙන්නට,
හද දැරූ දාරක පෙම - පත්විය ගැහුණා වූ ගල් පිළිමයක් ලෙසට,
අමාවක රැයක් විය එදා - මාපිය අසරණ අහස් නිවසට

සිතුවා වූ සුන්දර දිවිය - විය සීමා හුදු දින ගණනකට
ආලය විය නීරස - දිනෙන් දින ඔහු හා ගෙවන කලට
විය උරුමය මතින් සුරාවෙන් - ගුටිබැට කඳුළු ඈ හට
නැත ගතවුණේ නොබෝ දිනක් - හෙළූ වේශය හෙළිවන්නට
නිමය මවක වී - සැබෑව ඈ හමුවේ තිරගත වන කලට ....

ආලය අන්ධ යැයි කියමනට - පණ පොවනා දැරියන් හට
වැටහිය යුතුය ආලය වරදක් නොවන්නට - නිසි අයෙකු ලැබිය යුතුය යන්නට
තම අත සෙවණය තමනට - බාධා හමුවේ ද යා යුතුය ඉලක්කයට
කිසිදා නොහැකිය උදුරා ගන්නට - ඔබගෙන් ඔබව අන් අය හට